ත්‍රීඩී චිත්‍රපට බැලීම ලපටි ඇස්වලට අගුණයි.

ත්‍රීඩී කණ්ණාඩි පැළැද චිත්‍රපට බැලීම හෝ වීඩියෝ ක්‍රීඩා කිරීම දරුවන්ගේ ඇස්වල වැඩීම බාල කරන්නේය කියා විද්‍යාඥයෝ කියති. ප්‍රංශ රජයේ සෞඛ්‍ය බලධාරීන් පසුගිය නොවැම්බර් 06 දා එරට වැසියන්ට අවවාද කර සිටියේ වයස අවුරුදු 06ට අඩු දරුවන්ට ත්‍රිමාන චිත්‍රපට පෙන්වීම සහමුලින් නතර කර දමන ලෙසයි. එසේම වයස අවුරුදු 13ට අඩු ළමයින්ට ත්‍රිමාන චිත්‍රපට බැලීම සීමා කල යුතු බව ඔවුහු නිවේදනය කළහ.
          ප්‍රංශයේ මහජන සෞඛ්‍ය අධිකාරිය (ANSES) කළ සොයා බැලීම්වලින් පසු ඔවුන් තහවුරු කර ගෙන සිටින්නේ ළමයින්ගේ මොළයේ දෘෂ්ඨියට සම්බන්ධ ස්නායු වැඩෙන්නට ඔවුන්ගේ බාහිර ක්‍රියාකාරකම් බලපාන බවයි. එනම් දරුවන් දකින දෙය අනුව ඊට ගැළපෙන සේ ඔවුන්ගේ ඇස සහ ස්නායු වැඩෙන බවයි. ත්‍රිමාන දෘෂ්ටිය වැනි කෘත්‍රිම දැක්මක් නිසා ඊට අනුගතව ස්නායු සහ මොළයේ දෘෂ්ටියට සම්බන්ධ කොටස් වෙනස් වන්නට වෙර දැරීමත්, නැවත සාමාන්‍ය දෘෂ්ටියේ දී එය ඊට ගැළපෙන්නට වෙර දැරීමත්, නිසා ළමයින්ට නපුරක් විය හැකි බව ප්‍රංශ සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
          ත්‍රිමාන දෘෂ්ටිය දරුවන්ගේ මොළයේ වැඩීම සමග කවර සම්බන්ධයක් දක්වන්නේද යන්න ගැන සම්පූර්ණ විද්‍යාත්මක පර්යේශණයක් කළ කෙනෙක් තවමත් ප්‍රසිද්ධ නැත. එහෙත් මේ ගැන සැක කොට, ඉන් වැළකෙන්නැයි කියා කල නිවේදනද කිහිපයකි. නින්ටෙන්ඩෝ සමාගම සිය ත්‍රීඩී වීඩියෝ ගේම් කොන්සෝලය අවුරුදු 06 ට අඩු දරුවන්ගේ ඇස්වලට නරක බව එය නිකුත් කල 2010දීම කීවේය. ත්‍රිමාන කණ්ණාඩි භාවිතය ළමයින්ට අගුණ බව ඉතාලියේ මහජන සෞඛ්‍ය ඒජන්සියද 2013 දී මහජනයාට දැන්වීය. ත්‍රිමාන දෘෂ්ටිය යනු සැබැවින්ම තිබෙන්නක් නොව කෘත්‍රිම උපක්‍රම මගින් මොළය රැවැටීමෙන් ලබා දෙන පෙනුමක් නිසා දැනටමත් මොළය සම්පූර්ණයෙන් වැඩීනැති දරුවන් කෙරෙහි එය නරකට බලපෑ හැකි බවට සැක කිරීම මීට හේතුවයි.
            ස්වාභාවික ලෝකයේදී අපේ ඇසින් ත්‍රිමාන රූප දකිනවායැයි සිතුවාට ඇත්තටම ඇස දකින්නේ ද්විමාන රූපයි. එනම් දිගක් සහ පළලක් පමණක් ඇති, ගැඹුරක් නැති රූපයි. හරියට කඩදාසියක මුද්‍රණය කොට ඇති රූපයක් මෙනි. එහෙත් අපගේ ඇස් දෙක යම් විශේෂ දුරකින් එකිනෙකින් ඈත්ව තිබෙන නිසා යම් රූපයක් දකින්නේ එකිනෙකට වෙනස් ආනතියක් ඇති ද්විමාන රූප දෙකක් සේය. දකුණු ඇසින් ද වම් ඇසින්ද දක්න රූප, මොළය විසින් එකලස් කොට ගැඹුරක් ඇති ඇති රූප සංවේදනය අපට ලබා දෙයි. එවිට අපි නියම ගැඹුර ඇති රූපයක් දකිමු.
          චිත්‍රපටි තිරයකදී වේවා, රූපවාහිනි හෝ පරිගණක තිරයකදී වේවා, මෙම සිද්ධාන්තය යොදා ගතහොත් ත්‍රීමාන රුවක් මවන්නට පුළුවන. ඒ සදහා ඇස රවටන ත්‍රීඩී කණ්ණාඩියක් පැළදිය යුතුය. මෙහි තිබෙන්නේ රතු සහ නිල් පාට පාරදෘශ්‍ය තහඩු දෙකක් බව දනිමු.
          ත්‍රිමාන චිත්‍රපට ප්‍රක්ෂේපණයක් ගැන සිතන්න. එහිදී චිත්‍රපටය තිරයට ප්‍රක්ෂේපණය කරන්නේ ප්‍රොජෙක්ටර් දෙකකින්. ඒ අපේ සාමාන්‍ය ඇස දකින එකිනෙකට වෙනස් ආනති ඇති ද්විමාන රූප වශයෙනි. එක් ප්‍රොජෙක්ටරයක් රූපය ප්‍රක්ෂේපණය කරන්නේ වම් ඇස දකින ආනතියෙනි. අනෙක දකුණු ඇස දකින ආනතියෙනි. ප්‍රොජෙක්ටර් දෙකින්ම එවන එකම රූපයේ මාදිලි දෙක එක මත එක පතිත වූ විට එය පියවි ඇසට පෙනෙන්නේ එක් පැත්තකට රතු පාට හෙවණැල්ලක්ද, අනෙක් පැත්තට නිල් පාට හෙවණැල්ලක්ද ඇති රෑපයක් ලෙසය. රතු හා නිල් වීදුරු හෝ ප්ලාස්ටික් තහඩු ඇති කණ්ණාඩියක් පැළිදිවිට දිග, පළල සහ ගැඹුරැති හෙවත් ත්‍රිමාන රූපයක් ලෙස එය පෙනේ.
          මෙහිදී තිරයේ ඇති රතුපාට හෙවණැල්ල කණ්ණාඩියේ ඇති රතුපාට වීදුරුවෙන් පෙනෙන්නේ නැත. මන්ද, එකම වර්ණය නිසාය. එවිට රතු පාට වීදුරුව ඇති පැත්තේ ඇසින් දකින්නේ, නිල්පාට හෙවණැල්ල දෙසට පෙනෙන රූපයයි. නිල්පාට වීදුරුව ඇති පැත්තේ ඇසින් දකින්නේ රතු පාට හෙවණැල්ල දෙසට පෙනෙන රූපයයි. එවිට මොළයට හැගෙන්නේ සාමාන්‍ය විදියට ද්විමාන රූප දෙකක් දකින්නේය කියාය. මොළය විසින් පුරුදු පරිදි ඒ රූප දෙක එකලස් කරනු ලබයි. එවිට නියම ගැඹුරක් ඇති රූපයක් පෙනේ. එනම් තිරයේ මැවෙන්නේ ත්‍රීමාන රූපාවලියකි.  

අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :